Inception

Reality is the Fantasy we choose to believe

Inception Movie Poster

Inception කියන්නේ සාමාන්‍යයෙන් හොලිවුඩ් චිත්‍රපට බලන අය ඕනෙම කෙනෙක් බලලා තියෙන ෆිල්ම් එකක්. සමහරුන්ට මේක තමයි මෑත ඉතිහාසයේ ආපු හොඳ ම චිත්‍රපටය, තවත් සමහරුන්ට මේක තමයි මෑත ඉතිහාසයේ ආපු චිත්‍රපට අතරින් වැඩිම අධි තක්සේරුවක් (overrated) ලැබුනු චිත්‍රපටය. Inception බලපු හැමෝටම වගේ ආපු ගැටලුව තමයි, “ඇත්තටම Cobb අන්තිමට ජීවත් වෙන්නේ සිහින ලෝකෙ (ෆැන්ටසියේ) ද, එහෙමත් නැත්නම් සැබෑ ලෝකෙ (රියැලිටියේ) ද” කියන එක. මේ ගැන හොයන කෙනෙකුට, කොබ් ඉන්නේ සැබෑ ලෝකේ ය, කියන්නත්, නෑ, එයා ඉන්නේ සිහින ලෝකේ ය කියන්නත්, ඕන තරම් සාක්ෂි, සාධක හමුවේවි.

ඒත් හැබෑවට ම ඔතනින් ගන්න තියෙන දේ මොකද්ද? (හැබෑව කියලා එකක් තියෙනවද?)

මට තේරෙන හැටියට ඕකේ ගන්න තියෙන්නේ මේක:

අපි ජීවත් වෙන ලෝකය කියන්නේ ම අපි ට අපේ විවිධ ඉන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා අනුව, “මේක මෙහෙම වෙන්ටැ” කියලා අපි විසින් ම හදාගත්තු ආකෘතියක්! අපිට ලැබෙන එකින් එක සංවේදනා මත අපි මේ ලෝකය දිනෙන් දින යාවත්කාලීන කර ගන්නවා. ඊයේ ම⁣ං රියැලිටිය කියලා හිතපු දේ, අද වෙනකොට ෆැන්ටසියක් වෙලා. ඊයේ ෆැන්ටසියක් කියලා හිතපු දේ, අද මගේ රියැලිටිය වෙලා. ඉතිං, ඇත්ත(?) ට ම, රියැලිටිය කියලා යමක් තියෙනවද?

අපි කොබ් දිහා බලමු. කොබ් ළඟ තියෙනවා කැරකෙන බඹරයක්. මේ බඹරය සිහින ලෝකෙදී නොනැවතී කැරකෙන බවත්, සැබෑ ලෝකෙදී කැරකැවීම අවසානයේ බිමට වැටෙන බවත් කොබ් “හිතනවා”. ඉතිං, එයා එයාගේ රියැලිටිය හොයන්නේ ඒ බඹරය කරකවලා. ඒත් චිත්‍රපටයේ අවසාන දර්ශනයේ දී, “අපිට” පෙන්නන්නේ නෑ, ඇත්තටම බඹරය වැටෙනවා ද? නැද්ද? කියන එක. අර මුලින් ම කියපු ප්‍රශ්නය එන්න හේතුව ඒක. ඒත් අපි කොබ් ගේ පැත්තෙන් හිතුවොත්?

කොබ් සාමාන්‍යයෙන් බඹරය කරකවලා, ටිකක් ඒක දිහා බලන් ඉන්නවා, ඒක වැටෙනවද, නැද්ද කියන එක බලන්න. ඇයි? කොබ් ගේ රියැලිටිය බේස් වෙන්නෙම ඒ බඹරය මත. හැබැයි අන්තිම දර්ශනයේ දී, කොබ් ඒක දිහා බලන්නෙ නෑ, බඹරය කැරකෙන්න ඇරලා, එයා යන්නේ තමන්ගේ දරුවන් ළඟ ට. ඒ තමයි කාලයක් තිස්සේ ඔහුගේ ෆැන්ටසි ය. තමන්ගේ දරුවන් ළඟ ට යන එක.

එතනදී, කොබ් තමන්ගේ රියැලිටි ය මොකද්ද කියලා තීරණයකට එනවා. ඔහු විශ්වාස කරන්න පටන් ගන්නවා, මේක තමයි මගේ රියැලිටිය කියන එක. එතනින් එහාට කොබ් ට බඹරය කැරකෙනවද? වැටෙනවද? කියන එක අදාල නෑ. ඔහු “විශ්වාස කරන්නට තෝරාගන්නා ෆැන්ටසිය” තමයි ඒක. ජීවිතේ අපිට විවිධාකාර ෆැන්ටසියන් තියෙනවා. අපි වෙලාවකට හරි ආස වෙනවා ඔය ෆැන්ටසීන් ඇතුලේ, අපේ කම්ෆර්ට් සෝන් එකේ, පාඩුවේ ජීවත් වෙන්න. ඒත් සමහර වෙලාවට, සමහර දේවල් නිසා, අපේ මේ ෆැන්ටසි වලට බාධා වෙන්න පුළුවන්. එතකොට “රියැලිටිය” දුකක් වෙන්න පුළුවන්. ඒත් ඔය රියැලිටිය කියන්නේ මත් තවත් එක ෆැන්ටසියක් විතරයි කියලා හිතාගත්තම, ජීවත් වෙන එක සෑහෙන පහසුවක් වෙන්න පුළුවන්.